Saturday, May 9, 2020

රුසිත් සංගිත් ගුරුතුමා - තුන් තිතේ ප්‍රභේද



පාඩම -            තුන් තිතේ ප්‍රභේද

දිනය -             05-09
වේලාව -        ප.ව‍ 2.00 - ප.ව.03.30 
                     

මෙහෙයවීම -  රුසිත් සංගීත් ගුරුතුමා
                      නර්තනාචාර්ය
                                සිරිසුමන බෞද්ධ විද්‍යාලය
                      මාවරමංඩිය




ආයුබෝවන් සියලුම දෙනාට 🙏

 ගරු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක තුමණි, වැඩිහිටි ගුරුමව්වරුනි ,පියවරුණි , 
දයාබර දරුවනේ...
ඉතින් අවසරයි "තුන් තිතේ ප්‍රභේද" පිලිබඳව මෙතැන් සිට විමසා බැලීමට
 එහෙනම් වෙසක් ඉවරවෙලා නැවතත් අපේ නර්තන පාඩම් වැඩසටහන අද සිට පටන් ගමු.. සියලු දෙනාම සූදානම් ඇති කියල මම හිතනවා

 අපි තුන්තිතට යන්න කලින් 6 ශ්‍රේණියේ සිට ඔබ ඉගෙනගත් තිත් රූප වලට අදාල සාධක ටික සරලව කතා කරමු

 පුතේ මුලින්ම අපි කතා කරමු තාලය කියන්නෙ කුමක්ද කියලා 👉

තාලය කියන්නේ අමරකෝෂ ග්‍රන්ථයේ සඳහන් වන පරිදි "ක්‍රියාවේ කාලය මැනීම තාලය" බවයි 
මෙහිදී ක්‍රියාව යනුවෙන් සඳහන් කරන්නේ නර්තන,ගායන,වාදන  වල නිරත වීමයි

නර්තන,ගායන, වාදන වලදී අපි තාලය තැබීම සඳහා යොදාගන්නා උපකරණය තාලම්පටයි.



අතීතයේ දී මෙය හඳුන්වා ඇත්තේ කෛතාලම යනුවෙනී. එය ද්‍රවිඩ වචනයකි..ඒ කියන්නෙ පුතේ දෙමළ භාෂාවේ තියෙන වචනයක්, එහි අර්ථය "අත" යන්නයි.

අත්ලෙන් අත්ල තැලීම වෙනුවට ඒ කියන්නෙ අත්පුඩි ගහනවා වෙනුවට තාලම්පට
නිර්මාණය වූවාද යන්න අපිට හිතන්නට පුලුවන්



හරි ඊළඟට අපි මාත්‍රා කියන්නෙ මොනාද කියල කතා කරමු 

මාත්‍රයක් කියන්නෙ තාලයක් බිහිවීමට අවශ්‍ය කරන කුඩාම ඒකකය. ඒක අපි තවත් විදියකට කිව්වොත් නිර්වචනයක මෙසේ සඳහන් වෙනවා "තනි අක්ෂරයක් ශබ්ද කිරීමට ගතවන කාලය" තවත් සරලව කිව්වොත් 👇

ලඝු අක්ෂරයක් හෙවත් නොඇදෙන අකුරක්  උච්චාරණය කිරීමට ගතවන කාලය අපිට මාත්‍රයක් කියල හඳුන්වන්න පුලුවන්

 ඉතින් පුතේ සරලවම කිව්වොත් මාත්‍රා කිහිපයක එකතුවකින් තමයි තාලයක් නැතහොත් තාලරූපයක් ගොඩනැගෙන්නේ

           මාත්‍රා 2 
           මාත්‍රා 3 
           මාත්‍රා 4 

අපි කියන විදියට නම්
"දෙකෙන් දෙක, තුනෙන් තුන, හතරෙන් හතර" කියල දෙයක් අහල තියෙනවා නේද?

 මේවා මොනවාද කියල ඔයාලා දන්නවා ඇති කියල මම හිතනවා මේවාට අපි කියනවා තනි තිතේ ප්‍රභේද කියල..



 මතකද පුතාලට? 

සුලු තනි තිත (මාත්‍රා 2+2)

මැදුම් තනි තිත (මාත්‍රා 3+3)

මහ තනි තිත (මාත්‍රා 4+4) 

මේ පුතේ තනි තිතේ ප්‍රභේද

ඊට පස්සේ පුතේ මතකද දෙතිත?

දෙතිතක් කියන්නෙ දරුවනේ ඉහත සඳහන් කරපු තනි තිතේම ප්‍රභේද දෙකක් එකට එකතු වීමෙන් සෑදෙන තාල රූපයට 

ඒ කියන්නේ මෙන්න මෙහෙම 
👉 සුලු තනි තිත + මැදුම් තනි තිත 

සුලු තනි තිත කියන්නේ මාත්‍රා 2 
මැදුම් තනි තිත කියන්නේ මාත්‍රා 3

මේ දෙක එකතු උනාම නිර්මාණය වන තාලරූපය තමයි සුලු මැදුම් දෙතිත ඒ කියන්නේ (මාත්‍රා 2+3)

මේ විදියට
සුලු මැදුම් දෙතිත (2+3)

සුලු මහ දෙතිත (2+4)

මැදුම් මහ දෙතිත (3+4)

මේවා දෙතිතේ ප්‍රභේද ලෙස ඔයාලා පහල පන්ති වලදී ඉගෙනගෙන තියෙනවා





මං හිතනවා තනි තිත සහ දෙතිත පිලිබඳව ඔබේ පරණ මතකය නැවතත් අවදි වන්නට ඇතිකියලා

තිත් තිත් තෙයි 👏 
මේ විදියට අත්පුඩි ගහල බලන්න

 හරි ඔන්න අපි දැන් 11 ශ්‍රේණියට අදාල තුන්තිත පිලිබඳව කතා කරමු

 මාත්‍රා 2 තනිතිත, මාත්‍රා 3 තනි තිත, මාත්‍රා 4 තනි තිත යන මූලික තිත් රූප ආශ්‍රයෙන් දේශීය තාල පද්ධතියේ විවිධ තාල රූප ගොඩ නැගී ඇත

 ඒ ආකාරයෙන්ම තිත් රූප තුනක් එකතු වීමෙන් තුන් තිත නිර්මාණය වී තිබේ

 පුතේ ඔබගේ විෂය නිර්දේශයට අනුව දැනට ප්‍රචලිතව පවතින තුන්තිතේ ප්‍රභේද දෙකක් මම දැන් ඔයාලට කියල දෙන්නම්




 ඒ කියන්නේ 👉
තිත් රූප තුනක්

👉සුළු තනි තිත + සුළු තනි තිත + මැදුම් තනි තිත 
2+ 2+ 3

👉සුළු තනි තිත + සුළු තනි තිත + මහ තනි තිත
2+ 2 + 4

මෙතනදී සුළු කියන වචනය දෙවරක් කියවෙන නිසා ඒක දෙසුළු උන බව ඔබ මතක
තබාගන්න

දෙසුළු මැදුම් තුන් තිතට තාලය තියන විදිය මම දැන් කියා දෙන්නම්

                       හඬ පටය 01 මෙතැනින්










මේ තියෙන්නේ පුතේ දෙසුළු මැදුම් තුන්තිතට අදාල අපේ සම්ප්‍රදායන් ත්‍රිත්වයේ විෂය නිර්දේශයට අදාල බෙර පද



මේ තියෙන්නේ පුතේ දෙසුළු මහ තුන්තිතට අදාල අපේ සම්ප්‍රදායන් ත්‍රිත්වයේ විෂය නිර්දේශයට අදාල බෙර පද

 දැන් මම ඔයාලට මේ බෙර පද වලින් උඩරට නර්තන සම්ප්‍රදායට අදාල බෙර පද වාදනය කර පෙන්වන්නම්.

video 3

දෙසුළු මැදුම් තුන් තිතට අදාල බෙරපදය   දොම් තකු දොම් තකු දොම් තකු දොං ජිං ගත් තත් ජිං තරිකට

video 4

මේ තියෙන්නෙ පුතේ දෙසුළු මහ තුන් තිතට අදාල බෙරපදය   කුඳ ගත ගත දොම්


හරි දැන් අපි බෙර පදය තාලය තියල කටින් කියල බලමු

Voice 

 පුතේ ඔයාලට ප්‍රායෝගිකව මේ තුන්තිත සමඟ නර්තනයේ යෙදෙන්න වෙන්නෙ කුඳාංත ගත දො⁣ම් වට්ටම නර්තනයේ යෙදෙන විටයි ( ඉදිරියේදී ඒ පිලිබඳව කතා කරමු) 

දෙසුළු මහ තුන්තිතට අදාලව කුඳාංත ගත දොම් වට්ටම නර්තනයේ යෙදෙන විට තවත් මේ තිත් රූප පිලිබඳව අවබෝධයක් ඔබට ලබා ගත හැකි බව මට විශ්වාසයි 

දෙසුළු මැදුම් තුන්තිත හමුවන්නේ මයුරා වන්නම ඉගෙන ගන්නා අවස්ථාවේදී බව කිව යුතුය, එය උසස්පෙළට අදාල පාඩමක් බවත් සඳහන් කල යුතුවේ 

සාමාන්‍ය පෙල විභාගයට මුහුණදෙන ඔබ මෙම බෙර පද ද්විත්වය ප්‍රස්ථාර ගත කිරීමට සහ තාල තබා ගායනා කිරීමට පුරුදු පුහුණුවීම අනිවාර්ය බව මතක තබා ගන්න

 ඉතින් පුතේ ඔන්න ඔහොමයි තුන්තිතේ කතාව 

දුවල පුතාලා හැමෝටම අවබෝධයක් ලැබෙන්න ඇති කියල මං හිතනවා

දරුවෝ සියලුම දෙනා මෙම බෙර පදය තාල තබා ගායනා කරන හඬ පටයක්ද, මෙම බෙර පද ද්විත්වයේ ප්‍රස්ථාර සටහනක්ද මාගේ පුද්ගලික වට්ස්ඇප් ගිණුමට යොමු කරන්න 

ඔබට අපැහැදිලි තැනැක් ඇත්නම් ඕනෑම අවස්ථාවකදී මාගේ පුද්ගලික වට්ස්ඇප් ගිණුමට යොමු කරන්න. දහස් වාරයක් හෝ පාඩම කියා දීමට මම සූදානම් දරුවනේ... නොතේරුන දෙයක් තිබේනම් පුද්ගලිකව ඒ ගැටලු යොමු කරන්න

 රටේ ඇතිවී තිබෙන තත්වය අනුව අධ්‍යාපනය නගාසිටුවීම උදෙසා  මේ සත්ක්‍රියාවට ඇපකැපවී කටයුතු කරන අපේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකතුමන්ටත්, ගුරු උ⁣පදේශකතුමියන්ලාටත්, කැලණි කලාපයේ සියලුම මා හිතවත් වැඩිහිටි ගුරු මව්වරු පියවරුන්ටත් ගෞරවපූර්වකව ස්තුති වන්ත වන අතර 

අපට ශිල්පය ලබාදුන් මාගේ ගුරු දේවයන් වන 🙏
සුගත් කරුණානායක 
විරාජ් ජයවර්ධන 
අරුණ ජගත් චන්ද්‍රපාල 

නම් වු ගුරුතුමන්ලාටත් දෙපා නැමද නමස්කාර කරමි 🙏

සියලු දෙනාට ආයුබෝවන් 🙏
 තෙරුවන් සරණයි 🙏


No comments:

Post a Comment

කෞශල්‍යා තත්සරණි ගුරුතුමිය - භරත නාට්‍යම් නර්තන සම්ප්‍රදාය

පාඩම -  භ රත නාට්‍යම් නර්තන  සම්ප්‍රදාය           (8 ශ්‍රේණියට නියමිත) දිනය - 2020-05-02 වේලාව -  ප.ව‍ 2.00 -  ප.ව.03 .30 මෙහෙයවීම  ...